සින්දු කියමින්, අත්පොළසන් දෙමින් විනෝදයෙන් අධ්යාපන චාරිකාවේ යෙදුණු සිසුන් එකවර ම ඒ සියල්ල නවතා නිහඬ වූයේ ගුරුතුමාගේ අණට කීකරු වෙමිනි.
"කවුරුත් හොඳට අහගන්න. බස් එකෙන් බැහැලා දෙන්නා දෙන්නා පේළියක් හැදෙන්න. අපි දැන් ඇවිත් ඉන්නේ පොළොන්නරුවේ ගල් විහාරය ළඟට. ගල් විහාරය බෞද්ධ අපට ඉතා වැදගත් පූජනීය ස්ථානයක්.”
ගුරුතුමාගේ අණට කීකරු ව සිසුහු බසයෙන් බැස පේළි සෑදී ඉදිරියට ගියහ. අවට පරිසරය චමත්කාරජනක ය. නෙලූම් මල් පිරි පොකුණු ය; ගසින් ගසට පනින වඳුරු රංචු ය.
සිසු පිරිස සහ ගුරුතුමා නතර වූයේ ගල් පර්වතයක නෙළා තිබූ බුදු පිළිම වහන්සේලා සතර නම ඉදිරිපිට ය. සියලූ දෙනා ම තමන් රැගෙන ගිය මල් තැන්පත් කර බුද්ධ වන්දනාව සිදු කළහ. ඊට පසු ගුරුතුමා සිසුන්ට ගල් විහාරය පිළිබඳ විස්තර කියා දීමට ඉදිරිපත් විය.
"පොළොන්නරුව තමයි අනුරාධපුර රාජධානියට පසු ව තිබෙන දෙවැනි රාජධානිය. පොළොන්නරුවේ පරාක්රම සමුද්රය ආසන්නයේ තිබෙන වැදගත් ම පූජනීය ස්ථානයක් විදියට ගල් විහාරය හඳුන්වන්න පුළුවන්. උත්තරාරාම විහාරය කියලයි මුලින් මේ ගල් විහාරය හැඳින්වූයේ. මේ ආරාමය මහා පරාක්රමබාහු රජතුමා විසින් කරවපු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.”
"මෙහි පිහිටි ගලේ බුදු පිළිම හතරක් ඉතා නිර්මාණශීලී ව, බුදු ගුණ මතු කරමින් නිර්මාණය කිරීමට අපේ අතීත නිර්මාණ ශිල්පීන් කටයුතු කරලා තියෙනවා නේද දරුවනේ."
පර්වතයේ වම් පැත්තේ සිට ප්රතිමා නරඹමින් ගමන් කිරීමටත්, ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමටත් සිසුහු මහත් උනන්දුවක් දැක්වූහ.
"අපි ඉස්සරවෙලා ම බලමු හිඳි බුද්ධ ප්රතිමා වහන්සේ ගැන. වාඩි වී සිටින ඉරියව්ව නිසා අපි මේ ප්රතිමාව හඳුන්වන්නේ හිඳි බුද්ධ ප්රතිමාව කියලා. මේ ප්රතිමා වහන්සේ අඩි පහළොවක් පමණ උසයි."
"හොඳයි. හිඳි පිළිම වහන්සේ වන්දනා කරලා අපි යමු ඊළඟ හිඳි පිළිමය ළඟට.”
සිසුහු ගුරු බසට අවනත වූහ.
"මේ පිළිම වහන්සේත් හිඳි පිළිම වහන්සේ නමක්. බලන්න මේ ප්රතිමාව සකස් කරලා තියෙන විදිය. අඩි 41 2 ක් පමණ උස බුදු පිළිමය දෙපැත්ත අලංකාර කරන්න කැටයම් කරපු කණු දෙකක්, කකුල් දෙකෙන් හිටගෙන ඉන්න සිංහ රූප දෙකක්, චාමර සලන රූප දෙකක් ගලින් නෙළලා තියෙනවා. බුදු පිළිමයේ හිසට ඉහළින් ගල් ඡත්රයක් (කුඩයක්) නිර්මාණය කරලා ප්රතිමාවට ඉහළින් ගල් තලය බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වන දෙවියන් බ්රහ්මයන් සිටින අහසක් බවට පත් කරලා. කොයි තරම් අපූරු නිර්මාණයක් ද?"
"අපි මේ හිඳි පිළිම වහන්සේ වන්දනා කරලා ඊළ`ගට හිටි බුද්ධ ප්රතිමා වහන්සේ ගැන සොයා බලමු.”
ගුරු බසට අවනත වූ සිසුහු ඊළඟට හිටි පිළිමය අසලට ගියහ.
"මේ පිළිම වහන්සේ දිහා හොඳට බලන්න.” ගුරුතුමා පැවසී ය.
"මේ පිළිමය අඩි 23ක් උස බව තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ,” ගුරුතුමා පැවසුවේ ය.
"බලන්න දරුවනේ, මේ හිටි පිළිමයේ ඉණත් දෙදණත් මඳක් නැමුණු විදියට නිර්මාණය කරලා තියෙන විදිය. අපි දැකලා තියෙන වෙන පිළිමවලට වඩා වෙනස් විදියකටයි දෑත් තබාගෙන ඉන්නේ. නෙලූම් මලක් වැනි ගල් වේදිකාවක් මත දෑත් බැඳගෙන සිටින ආකාරය දක්වන මේ හිටි පිළිමය තුළින් පේන්නේ කාරුණික බැල්මක්. අපි මේ හිටි පිළිම වහන්සේ නමස්කාර කරලා ඊළඟට යමු සැතපෙන බුදු පිළිමය ළඟට,” ගුරුතුමා පැවසුවේ ය.
"මේ පිළිමය සැතපෙන පිළිමයක්. මෙහි හිසේ සිට දෙපතුල දක්වා අඩි 46ක් දිගයි. සයනයක් මත සැතපී සිටින ආකාරයක් මේ පිළිමයෙන් පෙන්වනවා. දකුණු ඇලයට හැරී දකුණු අත මත හිස තබාගෙන සිටින ඉරියව්ව හඳුන්වන්නේ මොන නමින් ද?” ගුරුතුමා ප්රශ්න කළේ ය. සිසුන් පිළිතුර දැනගෙන හිටියේ නැති බව නිහඬතාවෙන් පෙනී ගියේ ය.
"මේ ඉරියව්ව හඳුන්වන්නේ සිංහ ස්යෙයාව නමින්. හිසේ බර කොට්ටයට දැනුණු විදියටයි එය නිර්මාණය කර තියෙන්නේ. කොට්ට උරයේ පවා කැටයම් මතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්රී පතුල් දිහා බැලූවම මොනවද හිතෙන්නේ?”
"මංගල ලකුණු දක්වලා තියෙනවා,” කසුන් කීවේ ය.
"මේ සැතපෙන පිළිමය පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් කියලත් අදහසක් තියෙනවා. අපි මේ කලා කෘති ඉතා හොඳින් ආරක්ෂා කරන්න ඕන. දැන් අපි සැතපෙන පිළිම වහන්සේ වන්දනා කරමු,” ගුරුතුමා කීවේය.
ඉන් පසුව ගුරුතුමා එම ගලෙහි කොටා තිබූ අක්ෂර පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ ය.
"දරුවනේ, මෙය තමයි ගල් විහාර කතිකාවත. මහ පැරකුම්බා රජතුමා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරවූ සෙල් ලිපියක්. මේ අකුරු ඔයාලට කියවන්න බැහැ. ඒවා පැරණි සිංහල අකුරු. ඒවා කියවන්න විශේෂයෙන් ඉගෙන ගන්න ඕන.
"දැන් එහෙනම් සියලූ දෙනා ම පේළියට බස් රථයට යමු,” යි ගුරුතුමා කීවේ ය.